Quaterarrac

ඉස්සර 'කාලක්'යැයි කී විට අපේ මතකයට එන්නේ පාන් කාලය. නැත්නම් තෙල් කාලය. පරිප්පු කාලක් සීනි කාලක් යැයි කී විට කඩේ මුදලාලි එයද සීරුවට කිරා මැන දුන්නේය. මේ කියන කාල කාලක්‍රියා කොට දශක එකහමාරක් දෙකක් ගත වී ඇති හෙයින් දැන් 'කාලට' ඇත්තේ අමුතුම ගැම්මකි. ඒ 'කාල' අද වන විට ජන සමාජයට කොතරම් ළංව ඇත්තේදැයි කිවහොත්, දෙපැත්තට වැනි වැනි එන අයකු දුටුවහොත් ඔය එන්නේ කාලක් ගහලා යැයි ඕන පොඩි එකෙක් කියනු ඇත. ඇඟපත වෙහෙස නිවාගන්නට හැමදාම හවසට කාලකින් සප්පායම් වන පිරිස කොතරම් දැයි බස්නැවතුම බාර් එක ළඟ මෙන්ම පාසල් පිට්ටනිය, දෙස බැලුවත් සිතා ගැනීම අසීරු නොවේ.

පිටකොටුව බස් නැවතුමේ තැන් තැන්වල ගොඩ ගැසූ කාලේ බෝතල් කඳු කිහිපයකි. මහනුවර, අම්පාර, බදුල්ල යැයි කොන්දොස්තරලා කෑ ගසද්දී කඩිමුඩියේ දිව එන දුර ගමන් මගියකු කාලේ බෝතලයක් කඩා ගුඩුස් ගුඩුස් ගා බී, ​බෝතලය බස්නැවතුමේම දමා බසයට දිවයන දසුන කිසිවකුට දැන් ඇමුත්තක් නොවේ. ඇතැම් කන්තෝරු මහත්වරුන් කාල මේ අයුරින් ඇද බාන්නේ ඔෆිස් බෑගය දෙකකුල් අතර රුවාගෙනය. අද වන විට කාර්යාලයට යන අතරත් කාල කලිසම් සාක්කුවේ දමාගෙන යන්නට ඇතැමෙකු මැළිවන්නේ නැත. පිටකොටුවේ මුට්ට කරගහන නාට්ටාමිලා මහ දවල්ද මේ කියන කාලේ බෝතලය කරත්තය කෙළවරක තබාගෙන උගුර දෙකට පානය කරන්නෝය. ඔවුන් අනතුරුව එම බෝතලය කොතැන හෝ අතහැර දමා යන්නෝය. එසේ සතියකට අතහැර දමන බෝතල් ගණන බැලුවහොත් එය ලක්ෂ ගණනකි.

මෙසේ අතහැර දමන්නේ කාලේ බෝතලේම පමණක් නොවේ. සියලු ප්‍රමාණයේ මත්පැන් බෝතල් මෙන්ම බියර් කෑන්ද ඒ අතර තිබේ. ලංකාවේ 2019 වසරේ මත්පැන් බෝතල් මිලියන තුන්සියයක් අලෙවි වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කළේය. ඊට මි.ලී. 750 මත්පැන් බෝතල් මිලියන 52ක් හා බාගේ බෝතල් මිලියන 40ක් මෙන්ම මි.ලී. 185 එනම් කාලේ බෝතල් මිලියන 108ක්ද ඇතුළත්ය.

විකිණී ඇති බියර් කෑන් ගණන මිලියන 160කි. එහිත් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ මි.ලී. 325 කුඩා ප්‍රමාණයේ බියර් කෑන්ය. මෙසේ සැෂේ ප්‍රමාණයේ මත්පැන් බොතල් හා බියර් කෑන් දෛනිකව පරිසරයට එක්වීමෙන් සිදුවන අගතිය ගැන පරිසර සංවිධාන මෙන්ම සෞඛ්‍ය අංශ හඬ නගන්නේ කලක සිටය.

මි.ලී. 185 එසේ නැතිනම් කාලේ බෝතලය නතර කර දැමීමට නව නීති ගෙන ආ යුතුයැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, වෛද්‍ය සමාධි රාජපක්ෂ කියන්නේ මේ අතරය. කාලේ බෝතලය අලෙවිය වැඩිවීම තුළ සමාජමය හා පාරිසරික ගැටලු වැඩිවී ඇතැයි පෙන්වා දෙන ඔහු තව දුරටත් කියා සිටියේ ඒ හානිය අවම කර ගැනීමට නම් දුම්වැටි හා මද්‍යසාර මත පනවා ඇති බදු මුදල් තවදුරටත් ඉහළ නැංවිය යුතු බවයි. නොඑසේනම් මද්‍යසාර භාවිතය නිසා ජනතාවට ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීමට රජයට දරන්නට වන වියදම, මත්පැන් බදු ආදායමට වඩා වැඩිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍ය සමාධි රාජපක්ෂ මෙන්ම, බොහෝ පරිසර සංවිධාන කියන කතා සැලකිල්ලට ගැනීමේදී කාලේ බෝතලය මෙන්ම අනෙකුත් මද්‍යසාර ඇසුරුම් සම්බන්ධයෙන්ද අද වන විට මතුව ඇත්තේ බරපතළ ගැටලුවකි. මත්පැන් බෝතල මිලියන 300ක් සහ බියර් කෑන් මිලියන 160ක් අලෙවි වූ පසුබිමක, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත භාවිතයකින් හෝ ප්‍රතිචක්‍රීයකරණයකින් තොරව පරිසරයට එක්වීම සැබවින්ම ගැටලු සහගතය.

මේ ගැටලුව කොතරම් උග්‍ර වුවත් අපේ රටේ මත්පැනට ඇති ඉල්ලුම ගැනද කතා නොකරම බැරිය. බර වැඩ කරන පොඩි මිනිහාගේ සිට ඇති හැකි ධනවතුන් වියතුන් මෙන්ම සෑම සමාජ ස්ථරයකම පිරිසක් මනදොල පුරවා ගන්නට මත්පැන් භාවිත කරති. ලංකාවට ස්ප්‍රිතු වර්ගයේ මත්පැන් එන්නේ යුරෝපියන් මාර්ගයෙන් වුවත්, ඊට පෙර පොල්, කිතුල් හා තල් රා පෙරීම සිදුව තිබේ.

1650දී පමණ ඕලන්ද පාලකයන් ලංකාවේ අරක්කු රේන්ද ක්‍රමය ඇති කළේය. අරක්කු රේන්ද ක්‍රමය යනු අරක්කු පෙරීමට බෙදා හැරීමට හා විකිණීම සඳහා අවසර දෙන බලපත්‍ර වෙන්දේසියකි. මෙය ලංකාවේ මහා පරිමාණ කර්මාන්තයක් වන්නේ බ්‍රිතාන්‍ය සමයේදීයි. 1900 පමණ වන විට ලංකාවේ අරක්කු මැලේසියාව, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවලටද අපනයනය කර තිබේ.

සුරාබදු පනත ලංකාවේ සම්මත වන්නේ 1834 දීය. එහිදී මත්පැන් වෙළෙඳාම රජය යටතට ගෙන දැඩි නීති හා බදු ක්‍රම යටතේ පවත්වා ගෙන ගියේය. බ්‍රිතාන්‍යයන් 1913 දී සුරාබදු දෙපාර්ත​මේන්තුව පිහිටුවා අරක්කු හා මත්පැන් නිෂ්පාදනය හා විකිණීම විධිමත් ලෙස පවත්වා ගෙන යාමට උත්සුක විය. 1974දී සිරිමා බණ්ඩාරනායක රජය යටතේ රාජ්‍ය ස්කාගාර සංස්ථාවද ඇති කළේය. 1992 දී ජනපති ප්‍රේමදාස විසින් එය පෞද්ගලීකරණය කළේය. අද වන විට DCSL සමාගම ලෙස හඳුන්වන්නේ එයයි.

ලංකාව තුළ මේ වන විට බියර් නිෂ්පාදන සමාගම් 2ක් හා අරක්කු නිෂ්පාදන ආයතන, 23ක් මත්පැන් නිෂ්පාදන කාර්යයේ නියැළේ. ඔවුන් නිපදවන මත්පැන්වලින් අපේ රටේ වැඩි දෙනෙකු විඩා සංසිඳුවා ගන්නා අතර කෘත්‍රිම රා මෙන්ම විෂ මත්පැන්ද ඒ අතර නැතුවා නොවේ. මහා පරිමාණයෙන් සිදුවන නීති විරෝධී ස්ත්‍රිතු පානයෙන් විෂ ශරීරගතව දිවි අහිමි වුවන් මෙන්ම දීර්ඝ කාලීනව රෝගී වී දිවිගෙවන පිරිසේද තවමත් අඩුවක් නැත.

මේ පසුබිම තුළ පොඩි මිනිසාට පානය කරන්නට විස්කි බ්‍රැන්ඩි නොලැබෙන බව ඇත්තකි. ලොකු ලොකු සාදවලට එන්නේත්, විදෙස් ලේබල් සහිත මත්පැන්ය. ඇති හැකි අයට කාලේ බෝතලය, ලොකු දෙයක් නොවුවත්, නැති බැරි වතු කම්කරුවාට අතේ ඇති මුදලට කාලේ බෝතලය අද එකම සුමිහිරි පානය වී ඇත.

සුරා හා දුම්කොළ කර්මාන්තය ඵලදායී හා කාර්යක්ෂම පාලනයක් තුළින් බදු ආදායම් එකතු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුවටය. එහිදී ඔවුන්ගේ දැක්මට අයත් කාරණා අතර සෞඛ්‍ය සම්පන්න ලාංකික සමාජයක් බිහි කිරීමේ වගකීමද තිබේ. ඒ අනුව කෝටි ගණනින් මත්පැන් අලෙවි කරන්නට අවසර දුන්නා සේම, තැන තැන දමා යන සැෂේ බෝතලය සහ බියර් කෑන් ඩෙංගු තෝතැනි හෝ වෙනත් සෞඛ්‍ය අර්බුද මවන්නට පෙර සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නේ නම් හොඳය.

අප ඒ ගැන නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහගෙන් විමසුවෙමු.

''අද වන විට මි.ලී. 185 මත්පැන් බෝතල් සම්බන්ධයෙන් මතු වෙලා තියෙන ගැටලුවට වගේම බියර් කෑන් සම්බන්ධයෙන් විසඳුම් ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවකටයි අපි යන්න හදන්නේ. රුපියල් 15ක විස්සක ඩිපොසිට් එකකට වඩා වැඩි මුදලක් වුවත් කමක් නෑ. මොකද ඒ මුදල පාරිභෝගිකයාට යළි ලබා ගත හැකියි. එහෙම සැලකිය යුතු මුදලක් තියාගෙන සැෂේ බෝතලය අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමය මින් පෙරත් තිබුණා. ඒත් එය සාර්ථකව ක්‍රියාවට නැංවුණේ නැහැ. ඒ වගේම ලියාපදිංචි මත්පැන් අලෙවි ස්ථාන 2900ටම බියර් කෑන් තැළීමේ සරල යන්ත්‍ර සවි කරන්න දැනට යෝජනා වී තිබෙනවා. එය ව්‍යාපෘතියක් විදියට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය හා සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවනවා. එහිද රජයේ මුදල් සතයක්වත් භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මත්පැන් නිෂ්පාදකයන් ඇතුළු එම කර්මාන්ත ක්ෂේත්‍රයෙන්ම තමයි එහි වියදම පියව ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම කාරණයට ඔවුන් එකඟතාව පළ කර තිබෙනවා.''

ඔහු පවසන්නේ මෙම ගැටලු ඇති වෙන්නට බලපෑවේ මත්පැන් වෙළෙඳපොළ තුළ පසුගිය දශක එකහමාර දෙක ඇතුළත සිදු වූ වෙනස්කම්ය. පාරිභෝගික භාණ්ඩ බොහෝමයක් ලොකු ඇසුරුමේ සිට කුඩා ඇසුරුමට මාරු වීමේදී ඒ තුළ යම් ආකර්ෂණයක් ඇතිවිය. අතේ මුදල් නැත්නම් විසඳුම් සැෂේ එකය. එය ෂැම්පෝ පැකට් එකටත් සබන් කුඩු පැකට්ටුවටත් එකය. මෙහිදී මත්පැන් කාලේ බෝතලය ගන්නා පුද්ගලයා ඒ දිනකට පානය කරනා මත්පැන් ප්‍රමාණය වීමට ඉඩ ඇත. යම් හෙයකින් බෝතලයක් ගෙන ගියහොත් දිනක ලිමිට් එක පනින්නටද බැරි නැත. ඒ වාගේම ලංකාවේ පාරේ තියාගෙන මත්පැන් බොන්නට අවසර නැත. ග්‍රාමීය පරිසරයක, නිවසක් තුළ වුව මත්පැන් ගන්නේ නැත. ඔවුන් ඊට තෝරාගන්නේ ​ගේ පිටපුස ගහක් යටය. එහෙත් අද වන විට සැෂේ බෝතලය පාරේ සිට වුව ගුඩු ගුඩු ගා බී එය පරිසරයට මුදා හරින්නට ඇති අවකාශය වැඩිය.

''මත්පැන් බෝතලයක් රුපියල් 1600.00කට ගත්ත පුද්ගලයාට රුපියල් 30ක් තියාගෙන බෝතලේ ගේන්න කිව්වට නැවත ගේන්නේ නැහැ. එහෙමනම් ඊට ජනතාව පොලඹවන, බෝතලේ අනිවාර්යයෙන් ආපසු ගෙනත් දෙන ක්‍රමවේදයකට අපි යායුතුයි. මෙහිදී නැවත භාවිතය කියන කාරණයේදී සියලු පරිමාණයේ බෝතල්වලට මේ ඩිපොසිට් ක්‍රමය හඳුන්වා දෙනවා''

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා අවධාරණය කළේය.

යටත් විජිත සමයේ අරක්කු ගැලුමක තොග මිල වී ඇත්තේ රුපියල් සියයකි. එකල අරක්කු ස්කාගාරයක රේන්ද බලපත්‍රයේ මිලද රුපියල් සියයකි. අරක්කු ගැලුමක් පෙරීමට රා ගැලුම් හතක් එකල ගත් බව කියති. ඒ කාලයේ අරක්කු වෙළෙඳාමට ප්‍රමුඛයින් වී ඇත්තේ මොරටුව හා පානදුර ප්‍රදේශයේ අයවලුන්ය. එසේ පැමිණි මත්පැන් ගමනේ අද රටවල් රැසකට පිරිසුදු පොල් රාවලින් නිෂ්පාදිත අරක්කු ලබා දෙන්නේ ලංකාවය.

ඒ ලංකාවේ එදිනෙදා දිවි ගැට ගහ ගන්නා, අසරණ වතුකම්කරුවාට, නාට්ටාමිලාට ''කාලේ'' විපර්යාස හමුවේ අඩු මුදලට ලැබෙන කෘත්‍රිම රා කෝප්පයට හෝ නීතිවිරෝධී මත්පැන්හලට ගොස් විෂ මත්පැන් පානය කරන්නට යළි මේ ව්‍යාපෘතිය තුළ ඉඩක් නොතබන්නේ නම් හොඳය.

දීපා වසන්ති එදිරිසිංහ

FaLang translation system by Faboba